News

ප්‍රීතිමත්භාවයේ දර්ශකවලින් අපේ රට තිබෙන්නේ සෝමාලියාටත් පහළින්

ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

1977න් පසු අපේ රටේ ඇතිවූ විශාලතම ප්‍රගතිශීලී හා වාමාංශික සංවිධානය ලෙස ජාතික ජන බලවේගය හඳුන්වන්න පුළුවන්. අපි ජාතික විද්වත් සංවිධානය ලෙස වසර දෙකක් පුරා ප්‍රවීණයින්, විද්‍යාඥයින්, වෘත්තිකයින්, කලාකරුවන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් සමග ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා. අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. හැමදාමත් ප්‍රතිපත්ති වෙනස් වෙනවා. හැම උදේකටම අලුත් ප්‍රතිපත්තියක් ගැන අපිට අහන්න ලැබෙනවා. එසේ නොවී ජාතික ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දෙන්න අපි කටයුතු කළා. ජාතික විද්වත් සංවිධානය ලෙස අපි කරගෙන යමින් තිබූ කාර්යය තව දුරටත් ශක්තිමත් කරන්න තමයි අපි ජාතික ජන බලවේගය සමග එකතු වුණේ. අදුෂිත දේශපාලනඥයින් සහ වැඩ කරන ජනතාව සමග අපි එකතු වුණා. අපේ වැඩිහිටියන් කාලයක් තිස්සේ සුපුරුදු කණ්ඩායමකට තමයි බලය පැවරුවේ. නමුත් දැන් අපේ රටේ තරුණ ප්‍රජාව දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්‍ෂේප කරමින් තිබෙනවා. අපි හිතනවා, ප්‍රගිතිශීලී කණ්ඩායමක් ඔවුන් විසින් තෝරා ගනියි කියලා.

අපේ රටේ ජනතාව වෙනස් වෙන්න කැමති නැද්ද? අපේ රටට ගමන් කරන මාර්ගය වෙනස් කළ යුතු නැද්ද? අද අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු බොහෝ දෙනා රට හැර යමින් තිබෙනවා. අපි ඉගෙන ගන්න කාලයේ අපිත් එක්ක හිටපු 2/3කට වැඩි පිරිසක් රට හැර ගොස් තිබෙනවා. පහුගිය අවුරුදු 71ක් තිස්සේ අපේ රට ලබාගත්ත ජයග්‍රහණ මොනවාද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව අත්‍යාවශ්‍යය සේවා සැපයීම අතින් අපේ රට පසුවෙන්නේ 103වැනි ස්ථානයේ. ලෝකයේ මානව සංවර්ධන දර්ශකයට අනුව අපේ රට තිබෙන්නේ 76වැනි ස්ථානයේ. වංචා-දූෂණ අතින් අපේ රට 89වැනි ස්ථානයේ. ප්‍රීතිමත්භාවයේ දර්ශකය අනුව අපි ඉන්නේ 130වැනි ස්ථානයේ. ඒ කියන්නේ සෝමාලියාවටත් පහළින් තමයි අපි ඉන්නේ. ඉතින් අපේ රටට විකල්පයක් අවශ්‍ය නැද්ද? මා නියෝජනය කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අතින් බැලුවාම අපේ රටේ ජනතාව සෞඛ්‍ය සඳහා තමන්ගේ ආදායමින් 50%ක් වැය කරනවා. ආණ්ඩුව අපෙන් ලබා ගන්නා බදු මුදල්වලින් පුද්ගලයෙකුගේ සෞඛ්‍යය සඳහා වැය කරන්නේ 50%ක් පමණයි. ඉතින් අපේ රටේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට වෙනස් කරනවාද? නැත්නම් මේ විදියට යන්න ඉඩ දෙනවාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =

සබැඳි ලිපි

Back to top button
Close