News

මහජන ආරක්ෂාවට දිගු කාලීන විසඳුම වන්නේ රට තුළ ජාතික සමගිය තහවුරු කිරීමයි

පසුගිය ඔක්තොම්බර් 19 වන දා මීගමුව කඩොල් උයන කියුපිඞ් ගාර්ඞ්න් හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික සමගිය පිළිබඳ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවේ දී, රැස්ව සිටි පිරිස අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පළ කළ අදහස්.

“හැම මැතිවරණයක දී වගේම මේ ජනාධිපතිවරණ වේදිකාවත් ජාතිවාදී මඩගොහොරු බවට පත් වෙමින් තියෙනව. මේ දවස් වල මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ පලාලි ගුවන්තොටුපලේ නාම පුවරුව. සිංහල ජනතාව ඉන්න ප්‍රදේශ වලට ගිහින් කියනවා, දෙමළ භාෂාව පළවෙනි තැනට දාල, සිංහල භාෂාව දෙවෙනි තැනට දාල කියල. යාපනයේදි ඒ පක්ෂයම මැතිවණ කාර්යාලයේ නම ඒ විදිහටම ගහනවා. ඒක කොහොමද අපි තේරුම් ගන්නෙ? සිංහල ප්‍රදේශවලදි සිංහල ඡන්ද ගන්නත් දෙමළ ප්‍රදේශවලදි දෙමළ ඡන්ද ගන්නත් තමයි මේ වැඬේ කරන්නෙ. මෙවැනි දේවල් සිංහල දෙමළ හැම කෙනෙක්ම පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරන්න ඕනෑ.

එවැනි ජාතීවාදී සහ ආගම්වාදී තීව්‍රතාවයක් තියෙන වෙලාවක තමයි අපි මේ ජාතික සමගියත්, සියලු ජනතාවගේ අයිතීනුත් පිළිගනිමින් මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ. අනෙක් හැම පක්ෂයක්ම තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතියේ කොටසත් හැටියට ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සනවා. දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි හැමදාමත් ජාතික සමගිය වෙනුවෙනුත් සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනාගෙම සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනී හිටියා.
දැන් මතු වෙලා තියෙන තවත් මාතෘකාවක් තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය. රටක ආරක්ෂාවට ඇති විය හැකි තර්ජන දෙකක් තියනවා. එකක් තමයි අභ්‍යන්තරව ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන. අභ්‍යන්තරව ඇති විය හැකි ගැටුම් සහ කෝලහාල තත්වයන් හේතුවෙන් මෙවැනි තත්වයන් ඇති වෙනවා. දෙවෙනි එක තමයි විදේශීය ආක්‍රමණයන් නිසා රටට එල්ල විය හැකි තර්ජන. ඒ අතුරින් මෑත කාලීනව පේන්න තියෙන දේ තමයි, විදේශීය සන්නද්ධ හමුදා තර්ජනයක් එල්ල විය හැකි තත්ත්වයක් නැහැ කියන එක. ඒ නිසා අපි මුහුණ දීල තියෙන්නෙ අභ්‍යන්තරික තර්ජනයක් පිළිබඳ අවදානමක් විතරයි. අභ්‍යන්තර ආරක්ෂාවේ තර්ජනයත් මොන මට්ටමේද තියෙන්නෙ? එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙන කාලෙ ඔවුන් සංවිධානය වූ සන්නද්ධ හමුදාවක් හැටියට කටයුතු කළා. ඔවුන් රජයේ හමුදා එක්ක මුහුණට මුහුණ සටන් කළා. ඒක අභ්‍යන්තර ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙලා තිබුණා. ඒත් නැවතත් මේ මෑත යුගයේ එවැනි සන්නද්ධ කණ්ඩායමක තර්ජනයක් ඇති වෙයි කියල හිතන්න බැහැ. කවුරුහරි හිතනවනම් උතුරේ නැවත එවැනි හමුදාවක් ගොඩනැගෙයි කියල, ඒක හිතළුවක් විතරයි. උතුරෙ අම්ම තාත්ත දරුවො හදන්නෙ යුද්දෙට නෙමෙයි. ඒ අම්ම තාත්තටත් තියෙන්තෙ දකුණෙ අම්ම තාත්තට තියෙන බලාපොරොත්තුමයි. දරුවන්ට උගන්වන්න, ඔවුන් හොඳ රැකියාවක් කරනව බලන්න, ඔවුන් හොඳ ජීවිතයක් ගෙවනවා දකින්න තමයි ඔවුන්ටත් ඕනෑ. ඒත් දකුණෙ මිනිස්සුන් තුළ ප්‍රශ්නයක් හදනව, උතුරෙ අම්ම තාත්ත දරුවො හදන්නෙ යුද්දෙට කියල. ඒක බොරුවක්. දකුණෙ යුද්දෙකට තියන වුවමනාවවත් දැන් උතුරෙ ජනතාවට නැහැ. එහෙනම් දැන් කොතැනද අපේ ආරක්ෂාවට තර්ජනයක් තියෙන්නෙ? විශේෂයෙන් අප්‍රේල් විසි එක ප්‍රහාරයෙන් පස්සෙ මාර්ග බාධක යෙදුනෙ ඉස්කෝල ළඟ නැත්නම් රෝහල් ළඟ. සිංහල, මුස්ලිම් ගම්මාන වෙන් වෙන සීමාවන්වල. එහෙනම් දැන් තියෙන තර්ජනය මොකක්ද? මේ රටේ ජන කොට්ඨාස අතර ඉන්න අන්තවාදී කණ්ඩායම්වලින් එක් ජන කොට්ඨාසයක් විසින් තවත් ජන කොට්ඨාසයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරයි කියන තර්ජනය. එතැන තමයි අද ආරක්ෂාවේ තර්ජනය ස්ථානගත වෙලා තියෙන්නෙ. මේ ආරක්ෂාවට මොනවද තියෙන විසඳුම්? ගම්මාන ජාතිකත්වයන් අනුව බෙදල වෙන් කරල, ඒ ගම්මාන වෙන් වෙන තැන්වලදි ජනතාව පරීක්ෂාවට ලක් කර, සන්නද්ධ හමුදාව සහ සන්නද්ධ රථ දවස පුරාම පාරෙ ගමන් කර ඇති කරන්න හදන ආරක්ෂාව. හැබැයි ඒක ආරක්ෂාවද? ඒකෙන් කියන්නෙ රට අනාරක්ෂිතයි කියන එක නෙමෙයිද? අපි ආරක්ෂාව කියන්නෙ ඒකට නෙමෙයි. මේ ජන කොට්ඨාසයන් ඇතුළෙ කිසිදු අන්තවාදී කණ්ඩායමකට වර්ධනය වෙන්න, ඔවුන්ට අන්තවාදී කටයුතුවල නියැලෙන්න ඉඩ කඩ නොදෙන එක තමයි මේ ඇති වෙලා තියෙන ආරක්ෂාවේ තර්ජනය නැති කරන්න තියෙන පළමු ක්‍රියාමාර්ගය. ඒක ජාතික සමගිය දක්වාම අරගෙන යන එක තමයි දිගු කාලීන විසඳුම වෙන්නෙ.

අපේ පිළිගැනීම තමයි, ලංකාව කියන්නෙ භාෂාවල් කිහිපයක් කතා කරන, ආගමක් කිහිපයක් අදහන, ඔවුන්ටම වෙන් වූ සංස්කෘතික අනන්‍යතා තියෙන, බහු ජාතික, ජාතික රාජ්‍යයක් කියන එක. අපි ආවෙ කවදද, ආවෙ කොහෙන්ද, ආවෙ මොකටද..? ඒක ඉතිහාසය. ඒත් අද ඒ හැම කෙනෙක්ම රටේ ජීවත් වෙන, මේ රටේ නිෂ්පාදනයට හවුල් වෙන, මේ රටේ පොළවටම පස් වෙන එකම ජන කණ්ඩායමක්. හැමෝටම සමාන අයිතිවාසිකම් තිබෙන බව අපි පිළිගන්නවා.
ජාතික සමගිය ගොඩනගා ගන්න තිබුණු අවස්ථා කිහිපයක්ම අපිට මඟහැරී තියෙනවා. ඒ හැම තැනකදිම සිද්ධ වුණේ බෙදීම. මේ බෙදීම් නිසා අපි යුද්ධ කර ගත්තා. හොඳට හොයල බැලුවොත්, ඒ කිසිම යුද්ධයකදි මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිම කෙනෙක්ගෙ කිසිම දරුවෙක් මිය ගිහින් නැහැ. ඒක දකුණෙදි විතරක් නෙමෙයි උතුරෙදිත් එහෙමයි. ඒ හැම තැනකදිම මිය ගියෙ සාමාන්‍ය අම්ම තාත්තගෙ දරුවො. ජාතිවාදය වෙනුවෙන් ඇති තරම් ලේ මේ මහපොළවට හෙළා තිබෙනවා. ඒත් අපිට ඒව සිදුවීම් විතරක් වෙලා. එවායෙන් ගන්න ඕන අත්දැකීම් අපි අරගෙන නැහැ. මේ යෝජනාවලිය හැදෙන්නෙ ඒ සිදුවීම් අත්දැකීම් විදිහට අරගෙන.

මේ රටේ ජාතික සමගිය ඇති කරද්දි අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විශේෂයෙන් යුද්ධයෙන් පසු ඒ ප්‍රදේශ වල ජනජීවිතය යථාවත් කරන්නෙ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. ඒකෙදි අපි කරන එක යෝජනාවක් තමයි උතුරු නැගෙනහිර ජනතාවට අයිති සියලු ඉඩම් යළි ඒ ජනතාවට ලබා දිය යුතුයි කියන එක. ඒ විතරක් නෙමෙයි, ඒ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන සිටි කාලයට යම් නාමික හෝ වන්දියක් ගෙවීම. අනෙක් ප්‍රශ්නෙ තමයි අතුරුදහන් වූවන් සම්බන්ධ ප්‍රශ්නය. මිය යාමට වඩා වේදනාකාරීයි, අතුරුදහන් වීම. මගේ සහෝදරයත් අතුරුදහන් වූ කෙනෙක්. ඒ නිසා මම දන්නවා ඒකෙ තියෙන වේදනාව. අතුරුදහන් වුණ කෙනා කවද හරි එයි කියලා ඥාතීන් බලාගෙන ඉන්නවා. දකුණෙ අම්මල තාත්තල තමන්ගෙ දරුවන් අතුරුදහන් වුණාම ඒ අය විඳපු වේදනාවයි, දැන් උතුරෙ අම්ම තාත්ත තමන්ගෙ දරුවන් අතුරුදහන් වුණාම විඳින වේදනාවයි දෙකක් නෙමෙයි. මවගේ හෝ පියාගේ දරුවන්ට තියෙන සෙනෙහසට ජාතියක් තියෙන්න පුළුවන්ද? ඒ නිසා මේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින්ම නිවැරදි තොරතුරු ලබා දෙන්න අපි යෝජනා කරල තියෙනවා.

ඊළඟ ප්‍රශ්නය තමයි අත්අඩංගුවට පත් වූවන්ගේ ප්‍රශ්නය. දශක ගණනාවක් ඇතැම් අය අත්අඩංගුවේ ඉන්නවා. එක තරුණයෙක් ඉන්නවා, ඔහුට තියෙන චෝදනාව තමයි එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිකුත් කළ හැඳුනුම්පතක් ළඟ තබාගෙන සිටීම. ඒකට අත්සන් කරල තියෙන්නෙ දයා මාස්ටර්. අද දයා මාස්ටර් එළියෙ. හැඳුනුම්පත ළඟ තියාගත්ත කෙනා ඇතුළෙ. සමහර අය ඉන්නවා, ඔවුන්ට තියෙන චෝදනා ඔප්පු වෙලා උපරිම දඬුවම දුන්නත් ඒ දඬුවම අවුරුදු පහක සිර දඬුවමක්. හැබැයි ඔවුන් මේ වෙනකොටත් අවුරුදු විස්සක් රිමාන්ඞ් භාරයේ. ඒ නිසා අපි යෝජනා කරනවා එවැනි සියලු දෙනා නිදහස් කරන්න කියලා.

උතුරෙ ගෘහමූලිකයන් විදිහට කාන්තාවන් හැට දහසක් ඉන්නවා. ඔවුන් යුද වැන්දඹුවන්. ඔවුන් මේ රටේ පුරවැසියන් නෙමෙයිද? ඔවුන්ගේ ජීවිත යථාවත් කරන වැඩපිළිවෙකුත් මෙහි ඇතුළත් කර තියෙනවා.

ඊළඟට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි බලයට ඇතුළත් වීම සම්බන්ධ ප්‍රශ්නය. අපි කියන්නෙ ජාතිකත්ව භේදයකින් තොරව හැම දෙනාටම රටේ පාලන ව්‍යුහයේ ඕනෑම තැනකට ඇතුළත් වීමට අයිතිය තියනවා කියන එක අපි පිළිගන්නවා. ඒ සඳහා ජනතා සභා වැනි ව්‍යුහයක් ඇතුළෙ ඔවුන් පාලනයට ඇතුළත් කර ගන්න වැඩපිළිවෙලකුත් යෝජනා කර තියෙනවා.

ඒ වගේම අධ්‍යාපනය ලබා දීමේදී ජාතික සමගිය ඇති කරන අධ්‍යාපන වැඩපිළිවෙලක් ඇති කිරීම, ජාතිකත්ව අනුව බෙදී ඉගෙන ගැනීම වෙනුවට සියලු ජාතිකත්වයන්ගේ තියන සංස්කෘතික, ආගමික වෙනස්කම් සියලුම දරුවන්ට ඉගැන්වීමටත් අපි කටයුතු කරනවා.”

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − one =

සබැඳි ලිපි

Back to top button
Close