News

මේ සමාජය සුවපත් කිරීම අප වෙත පැවරී ඇති ප්‍රබල වගකීමක්

ජාතික ජන බලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (ඔක්තොම්බර් 20) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී පැවැත්වුණි. මේ සඳහා කලාකරුවන් සහ විද්වතුන් විශාල පිරිසක් සහභාගී වූ අතරේ ඔවුන් හමුවේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පළ කළ අදහස්‍ ය මේ.

“මෙවැනි සංස්කෘතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන මේ මොහොත වෙනකොට අප ඉදිරියේ තියෙන සමාජය මොන වගේ එකක් ද කියල අපි කල්පනා කර බලන්න ඕනෑ. මේක මුණුබුරන් විසින් මිත්තණියන් දූෂණය කරන, පියවරුන් විසින් තමන්ගෙම දරුවන් දූෂණ කරන සමාජයක්. අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක් වෙනවා. නීතියේ විධානය ආරක්ෂා කළ යුතු පොලිසියේ උසස් නිලධාරීන් මිනී මරලා, එහෙම නැත්නම් ඝාතකයන් ආරක්ෂා කරලා හිරේ යනවා. රුපියල් විසිපන් දහසට වැඩි මංකොල්ලකෑම් අවුරුද්දකට හාරදහසක් සිදු වෙනවා.

ඇයි මෙහෙමෙ වෙන්නෙ. සියලු මිනිස් සබඳතා අහිමි කරන ලද මිනිස් පරඬැල් බවට අද සමාජය පත් කර තියෙන එක තමයි ඒකට හේතුව. එකිනෙකා රුස්සන්නෙ නැති, ඉතාමත් රළු මිනිස් සම්බන්ධතා විතරයි අපිට ඉතිරි කරල තියෙන්නෙ. එවැනි සමාජයකට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මේ සමාජය යළි සුවපත් කළ යුතුව තියෙනවා. එහිදී ආර්ථික ක්ෂේත්‍රයන්ට තියෙන වැඩකොටස වගේම කලා සංස්කෘතික ක්ෂේත්‍රයට විශාල වැඩ කොටසක් තියෙනවා.
අද රටේ චිත්‍රපටි කර්මාන්තය බැලුවොත් චිත්‍රපටි නිෂ්පාදකයන්ට අඩුම තරමින් තමන්ගෙ නිෂ්පාදන වියදමවත් හොයා ගන්න බැහැ. ඒ නිසා අලුතින් ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක් චිත්‍රපටි එකක් හෝ දෙකක් හදනකොට ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. අනෙක් පැත්තෙන් චිත්‍රපට ශාලාවලට මොකද වෙලා තියෙන්නෙ. අනුරාධපුරයේ තිබුණ විජේන්ද්‍රා සිනමා ශාලාව අද ටියුෂන් ශාලාවක්. තඹුත්තේගම ඊගල් සිනමා ශාලාව වී ගබඩාවක්. මාතර බ්‍රෝඞ්වේ සිනමා ශාලාව ෆුඞ් සිටියක්. අම්බලන්ගොඩ සාලිය සිනමා ශාලාව පොලීසියක්. මේ කිහිපයක් විතරයි. චිත්‍රපටි ශාලාවල පොලිසි, ෆුඞ් සිටි සහ ටියුෂන් පන්ති ඇරෙමින් සිනමා ශාලා වැහෙමින් යනවා. පවුලෙ ඔක්කොම එකතු වෙලා චිත්‍රපටියක් බලන සංස්කෘතියක් ගම්වල නැති වෙලා. එහෙම බලන්න අවස්ථාව ඔවුන්ට අහිමි වෙලා. තියෙන සිනමා ශාලාවලත් දැන් නමයයි තිහට තිබුණු දර්ශනය නැහැ. හයයි තිහට තිබුණු එකත් පහයි කාලට විතර පෙන්නනවා. මොකද, නැත්නම් ගෙදර යන්න බස් එකක් නැහැ. ඒ නිසා ග්‍රාමීයව චිත්‍රපටි නැරඹීමෙන් ඉවත් වුණු ජනතාවක් ඉන්නෙ.

ටෙලි නාට්‍ය කලාව ගත්තොත් සම්පූර්ණයෙන්ම විදේශීය ටෙලිනාට්‍යවලින් ආක්‍රමණය කර තියෙනවා. ටෙලි නාට්‍යවල රඟපාන රංගන ශිල්පීන් මේසන් වැඩවලට අත්වැඩ දෙන ශ්‍රමිකයන් වගේ කුලීකරුවන් බවට පත් වෙලා තියෙනවා. ටෙලි නාට්‍යයේ ආරම්භය කොතැනද, අවසානය කොතැනද, රංගන ශිල්පියාගේ කාර්යය මොකක්ද, ඒ වෙනුවෙන් සාධාරණ ගෙවීමක් කරනවද කියන එක වෙනුවට පැයට දෙකට කුලියට ගන්න තත්වයට අද ශිල්පීන් පත් වෙලා.

ඒ වගේම මේ ටෙලිනාට්‍යවල තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මොනවගේ ආකල්පද සමාජයට දීල තියෙන්නෙ කියන එක. මොන සමාජ ආකල්පද පෝෂණය කරල තියෙන්නෙ කියන එක. කිසිදු හරයක් නැති, එකම කතාව පෙන්නනවා. ඒවයෙන් කොහොමද සමාජයක ආකල්ප දියුණු කරන්නෙ? සමාජයක චින්තනයක්, රසවින්දනයක් දියුණු කරන්නෙ? හරසුන්, බොල් සමාජයක් නිර්මාණය කිරීම විතරයි කරල තියෙන්නෙ.
ලේඛනය පැත්තෙන් ගත්තත් එහෙම තමයි. ලේඛකයෙකුට පොතක පිටපත් දාහක් මුද්‍රණය කර ඒකෙන් අටසීයක් විකුණ ගන්න බැහැ. මිලියන විස්සක් ඉන්න සමාජයක පොත් අටසීයක් විකුණ ගන්න බැහැ. පොතක් කියවන්නෙ නැති සමාජයක්. චිත්‍රපටියක් බලන්නෙ නැති සමාජයක්. වේදිකා නාට්‍යයක් බලන්නෙ නැති සමාජයක්. කොළඹින් පිටට ගියාට පස්සෙ නාට්‍යයක් පෙන්නන්න තැනක් නැහැ. පෙන්නුවත් ඒ පාසල්වල ශාලා වල. ඒවයේ නාට්‍යයක් පෙන්නන්න ඕනෙ කිසිදු පහසුකමක් නැහැ.

මේ නිසා සමාජයට අත්පත් වෙලා තියෙන තත්වය මොකක්ද? මුළු සමාජයම මේ සියලු ක්ෂේත්‍රයන් අත් ඇරල, තමන්ගේ ජීවිතය පවත්වාගෙ යාම වෙනුවෙන් හඹාගෙන යන ජීවිතයකට මුහුණ දී තිබෙනවා. අතිශය කටුක, නීරස ජීවන රිද්මයක් හැමෝටම ඉතිරි කර තියෙනවා. දැන් ඒ ජීවන රිද්මයට ඇබ්බැහි වෙලා තියෙනවා. එවැනි සමාජයක අර මම කලින් කියපු දත්ත වාර්තා වීම අරුමයක් නෙමෙයි.

ඒ නිසා මේ සමාජය සුවපත් කිරීම අප වෙත පැවරිලා තියෙන ප්‍රබල වගකීමක්. ඒ කාර්යයේදී කලාව සහ සංස්කෘතික ක්ෂේත්‍රයට විශාල කාර්යයක් පැවරිලා තියෙනවා. මේ ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරල තියෙන්නෙ ඒ අරමුණ ඇතිව.

අනෙක් පැත්තෙන් මේ සමාජය තුළ ජාතිවාදය, ආගම්වාදය සහ එකිනෙකාගේ වෙනස් සංවේදී හැඟීම් වෛරයක් බවට පත් කිරීම වෙනුවෙන් අවුස්සමින් තිබෙනවා. එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවයන් රුස්සන්නෙ නැති සමාජයක් බවට පත් කරමින් තිබෙනවා. එකිනෙකා අතර වෛරය වපුරන ප්‍රබල දේශපාලන කඳවුරක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතාමත් වැඩවසම්, පැරණි, යල්පිනූ අදහස් සහිත කණ්ඩායමක් මේ අදහස් නියෝජනය කරමින් සිටිනවා. ඒ නිසා මේ ගෝත්‍රවාදී, වැඩවසම්වාදී මතවාදයන්ට එරෙහිව කරන සංස්කෘතික අරගලයත් අද අන් කවරදාකටත් වඩා අවශ්‍ය වී තියෙනවා. මේ වැඩවසම් ගෝත්‍රවාදී කඳවුර පරාජය කරන, එකිනෙකාට සහෝදරත්වයෙන් සලකන කඳවුර අප විසින් පුළුල් කළ යුතුව තියෙනවා. ඒ වෙනුවෙන් අපි මුහුණට මුහුණ, මේ අභියෝගය හමුවේ සිට ගත යුතුව තියෙනවා.”

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 5 =

සබැඳි ලිපි

Back to top button
Close